අල්කුර්ආන් පරිච්ඡේද සඳහා අර්ථවිවරණය.

පිළිතුර: අල්ෆාතිහා පරිච්ඡේදය සහ එහි අර්ථ විවරණය
1. ‘බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ -මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්; 2. ‘අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්’ -ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා!' 3. "අර් රහ්මානිර් රහීම්" - ඔහු මහා කාරුණික පරම දයාබරයාණන්ය. 4. "මාලිකි යව්මිද් දීන්" -විනිශ්චය දිනයේ අධිපතිය. 5. "ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්'' -අපි ඔබවම නමදිමු. ඔබෙන් පමණක් පිහිට පතමු. 6. "ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්" -අප ඍජු මග යොමු කරනු මැනව. 7. "සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල් ළාල්ලීන්" ඔබ ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. ඔබේ කෝපයට භාජනය වූවන්ගේ හෝ මුළාවූවන්ගේ මාර්ගය නොව. (අල් ෆාතිහා 1:1-7)
අර්ථ විග්රහය:
එය සූරා අල්-ෆාතිහා ලෙස හැඳින්වීමට හේතුව අල්ලාහ්ගේ ශුද්ධ වූ අල්කුර්ආන් ග්රන්ථය මෙම පරිච්ඡේදයෙන් ආරම්භ වන නිසයි.
1- "بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ" - තේරුම (අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.) අර්ථ විග්රහය බිස්මිල්ලාහ් ; අල්ලාහ්ගේ නාමයෙනි, ආශීර්වාද ලබන සර්වබලධාරි ඔහුගේ නම සඳහන් කිරීමෙන් සහ ඔහුගේ උපකාරය පතමින්, මම අල්-කුර්ආනය කියවීමට පටන් ගනිමි.
(الله ) එනම් අල්ලාහ්, ඔහු සැබවින්ම වන්දනාමානය කිරීමට සුදුසු වන අතර, වෙනත් කිසිවෙකු (අල්ලාහ් යන) මෙම නාමයෙන් හැඳින්වීමට නොහැක.
අර්-රහ්මාන්: මහා දයාව ඇති තැනැත්තා, ඔහුගේ දයාව සියල්ල ආවරණය කරයි.
අර් රහීම්:
දේව විශ්වාස කරන්නන් කෙරෙහි විශේෂයෙන් කරුණා ගුණය දක්වන්නා.
2-(අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්) තේරුම: සියලු ආකාරයේ ප්රශංසාව සහ පරිපූර්ණත්වය උත්තරීතරවූ අල්ලාහ්ට පමණි.
3-(අර්රහ්මානිර් රහීම්) එනම් සියල්ල ආවරණය කරන මහා දයාවේ හිමිකරු සහ විශ්වාස කරන්නන් වෙත ඔහුගේ දයාව විහිදුවන්නා.
4-(මාලිකි යව්මිද්දීන්) විනිශ්චය දිනයේ රජු ය. එනම් මරණින් පසු සියලු දෙනා නැවත නැගිටුවන දිනයේදී.
5-(ඉයියාක නඃබුදු වඉයියාක නස්තඊන්) තේරුම: අපි ඔබට පමණක් නමස්කාර කරමු, ඔබගෙන් පමණක් පිහිට පතන්නෙමු.
6-(ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්.) එය ඉස්ලාම් සහ සුන්නාහ් වෙත මග පෙන්වීමකි.
7-සිරාතල්ලzදීන අන් අම්ත අලයිහිම්. ඝයිරිල් මග්ලූබි අලයිහිම් වලළ්ළාල්ලීන්.” නබිවරුන්ගේ සහ ඔවුන්ව අනුගමනය කළ අයගේ සහ අල්ලාහ්ගේ ධර්මිෂ්ඨ ගැත්තන්ගේ මාර්ගයයි. එනම්, කිතුනුවන්ගේ සහ යුදෙව්වන්ගේ මාර්ගය නොවේ.
සූරතුල් ෆාතිහා ව පාරායනයනය කිරීම අවසන් වූ වහාම, ආමීන් - (තේරුම- අපේ ප්රාර්ථනාවන් සඳහා පිළිතුරු ලබා දෙනු මැනව!) යනුවෙන් පැවැසීම සුන්නත් වේ.

අල්සzල්zසලා පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට, 2. මහපොළොව එහි ඇති බර බැහැර කළ විට, 3. තවද එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි. 4. එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි. 5. සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට, 6. එදින තම ක්රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි. 7. කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් යහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී. 8. කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී. අල්සzල්zසලා පරිච්ඡේදය 99:1-8
අර්ථ විග්රහය:

1) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පොළොවට සිදුවන දැඩි කම්පනය හේතුවෙන් එය චලනය වන විට,
(2) පොළොව තුළ වළදමා ඇති මිය ගිය ඇත්තන් හා වෙනත් දේවල් බැහැර කරනු ලබන විට,
(3) පොළොව මෙසේ කම්පනය වන්නට සහ එය චලනයට වන්නට හේතුව කුමක්දැ?යි මිනිසා වික්ෂිප්තව විමසයි.
4- ඒ මහත්වූ දිනයේදී පොළොව තමන් මත සිදු වූ සියලු යහපත හා අයහපත පිළිබඳ තොරතුරු එළිපිට දන්වා සිටිනු ඇත.
(5) එය අල්ලාහ්, එයට -පොළොවට- දැනුම් දී ඇති බැවින් හා ඒ ගැන නියෝග කර ඇති බැවිනි.
6- ඒ උතුම් වූ දවසේදී, පෘථිවිය කම්පනය වන විට, මිනිසුන් මෙලොවදී කළ (හොඳ හා නරක) දේ දැකීමට, කණ්ඩායම් වශයෙන් විනිශ්චය ලබා දෙන ස්ථානයෙන් පිටත්ව යනු ඇත;
7- එබැවින් කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් යහපත් උතුම් ක්රියාවක් කර ඇත්තේද ඔහු එය තමන් ඉදිරියේ දකිනු ඇත.
8- කවරෙක් කුඩා අණුවක් තරම් ප්රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය ඔහු ඉදිරියේ දැක ගනී.

පිළිතුර- අල්ආදියාත් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1- හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්, 2- කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද, 3- තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.) 4- එවිට එමගින් උන් දූවිලි නංවති. 5-කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති. 6-නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය. 7- තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ. 8- තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ. 9-නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද? 10- තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද? 11-නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව අභිඥානවන්තය. සූරතුල් ආදියාත් 100:1-11
අර්ථ විග්රහය:

1. වේගවත් බව හේතුවෙන් උන් හති දමන හඬ ඇසෙන තරමට දිව යන අශ්වයින් මත අල්ලාහ් දිවුරා ඇත.
2. දිව යන විට උන්ගේ කුර බලවත් ලෙස ගල්වල ගැටීමෙන් ගිනි පුපුරු නංවන අශ්වයින් මත අල්ලාහ් දිවුරා ඇත.
3. අලුයම් කාලයෙහි සතුරන් වෙත කඩා පනින අශ්වයින් මත අල්ලාහ් දිවුරා ඇත.
4. උන් එසේ දිව යන විට දූහුවිලි අවුස්සාලයි.
5. අශ්වාරෝහකයින් සමඟ කණ්ඩායම් වශයෙන් සතුරන් මැදට කඩා පනියි.
6. මෙසේ අශ්වයින් මත දිවුරා සැබැවින්ම මිනිසා තම පරමාධිපති බලාපොරොත්තුවන අයුරින් තමන් කළ යුතුව ඇති යහපත් දෑ නොකොට ඉන් වැළකී සිටින බව අවධාරණය කරයි.
7. එසේ යහපත් දෑ සිදුකිරීමෙන් වැළකී සිටින ඔහුම එයට සාක්ෂිකරුවකි. එය පැහැදිළි හෙයින් එය ප්රතික්ෂේප කරන්නට ඔහුට හැකියාවක් නොලැබෙන්නේය.
8. සැබැවින්ම ඔහු ධනයට කෑදරය. මසුරුය.
9. විනිශ්චය සඳහාත් ප්රතිඵල පිරිනැමීම සඳහා මියගිය ඇත්තන් මිනීවළවල් වලින් යළි අවදිකරවා මහපොළොවෙන් ඉවතට ගන්නා විට ඔවුන් කල්පනය කරන්නාක් මෙන් එම විෂය නොපවතිනු ඇතැයි මෙළොව ජීවිතය තෝරාගත් අය වටහා නොගන්නේ මන්ද?
10. සිත් තුළ ඇති කරගත් ඔහුගේ සිතුවිලි, විශ්වාසය හා වෙනත් දෑ පැහැදිළි කරනු ලැබ, ඒවා එළියට ගෙන එනු ලැබේ.
11. සැබැවින්ම එදින ඔවුන්ගේ පරමාධිපති, ඔවුන් පිළිබඳ සියලු තොරතුරු මැනවින් දැන සිටියි. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

පිළිතුර- අල්කාරිආ පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. කම්පනය ඇති කරන සිදුවීම. 2. කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද? 3. කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? 4. තවද එදින මිනිසා විසිරී ගිය (කෘමීන් වර්ගයක් වන) මේරුන් මෙන් පත් වනු ඇත. 5. තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් පත් වනු ඇත. 6. එබැවින් තම තුලාව බරින් වැඩි වූ අය නම්, 7. ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි. 8. තවද තම තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්, 9. ඔහුගේ වාසස්ථානය හාවියා වනු ඇත. 10. තවද එය (හාවියා) කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද? 11- (එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි. සූරතුල් කාරිආහ් 101:1-11
අර්ථ විග්රහය:

1. අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන දිනයකි එය.
2. අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන ඒ දිනය කුමක්ද?
3. අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එම දිනය කුමක් දැයි අහෝ දූතය! ඔබට දැනුම් දුන්නේ කුමක්ද? එය යළි අවදි කරවන දිනයකි.
4. මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එදින ඔබ මොබ දුවන මේරුන් මෙන් ඔවුහු සැරිසරති.
5. පීරන ලද පුළුන් මෙන් අවතැන් වී ගොස් සැහැල්ලුවෙන් ගමන් කරන තත්ත්වයට කදු පත්වනු ඇත.
6. තමන්ගේ අයහකම් වලට වඩා තමන් කළ යහකම් බරින් වැඩි වූ අය වනාහි,
7. ස්වර්ගය හිමි කර ගනිමින් තෘප්තිමත් ජීවිතයක පසු වනු ඇත.
8. තමන්ගේ යහකම් වලට වඩා තමන් කළ අයහකම් බරින් වැඩි වූ අය වනාහි,
9. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගේ නවාතැන, ඔහුගේ වාසස්ථානය වන්නේ නිරයයි.
10. අහෝ දූතය! එය කුමක්දැයි ඔබව දැනුවත් කර සිටියේ කුමක්ද?
11. එය දැඩි තාපයෙන් යුත් ගින්නකි.

පිළිතුර- සූරත් අත්-තකාසුරු සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. (ලෞකික සම්පත්) අධික ලෙස සෙවීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත. 2. නුඹලා මිනීවළවල් හමු වන තුරු, 3. එසේ නොව, නුඹලා (ඉක්මණින්) මතු දැන ගනු ඇත. 4. යළි එසේ නොව, නුඹලා (ඉක්මණින්) මතු දැන ගනු ඇත. 5. එසේ නොව, නුඹලා තිරසාර දැනුමෙන් දැන ගන්නාහු නම්, 6. සැබැවින්ම නුඹලා නිරය දකිනු ඇත. 7. පසු ව (නැවත වරක්), නුඹලා එය තිරසාර ඇසින් දකිනු ඇත. 8. තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව නුඹලාගෙන් විමසනු ලබනු ඇත. සූරා අත්-තකාසුර් 102:1-8
අර්ථ විග්රහය:

1. අහෝ මිනිසුනි! ධනය හා දරුවන් හේතුවෙන් නුඹලා එකිනෙකා තුළ ඇති තරඟය අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
2. නුඹලා මිය ගොස් නුඹලාගේ මිණිවලවලට නුඹලා ඇතුළුවන තුරු.
3. ධනය හා දරුවන් හේතුවෙන් එසේ නුඹලා එකිනෙකා අහංකාරකම් පාමින් අල්ලාහ්ට අවනත වීමෙන් දුරස්වීම නුඹලාට සුදුසු නැත. එසේ නුඹලා වෙනතකට යොමු වී කටයුතු කිරීමේ විපාකය නුඹලා ඉක්මණින් මතු දැනගනු ඇත.
4. එහි විපාකය නුඹ මතුලොවෙහි දැනගනු ඇත.
5. සැබැවින්ම අල්ලාහ් ඉදිරියට නුඹලා ව ඉදිරිපත් කරනු ඇත. එවිට නුඹලා සිදු කළ සියලු ක්රියාවන්ට ඔහු ප්රතිඵල දෙනු ඇතැයි නුඹලා ස්ථීරවම වටහා ගන්නේ නම් එසේ දරුවන් හා ධනය හේතුකොට ගෙන අහංකාරකම් පා නුඹලා අල්ලාහ්ගෙන් වෙනතකට යොමු නොවන්නාහුය.
6. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්න නුඹලා දෑසින්ම දැක ගනු ඇත.
7. සැබැවින්ම එය කිසිදු සැකයකින් තොරවම ස්ථීර ලෙසම දැක ගනු ඇත.
8. සුවය, ධනය හා වෙනත් සම්පත් අතුරින් කවර ආශිර්වාදයක් අල්ලාහ් නුඹලාට පිරිනමා ඇත්තේද ඒ පිළිබඳ ව නුඹලාගෙන් එහිදී ප්රශ්න කරනු ලබන්නෝය.

අල්-අස්ර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. කාලය මත දිවුරමින්. 2. නියත වශයෙන්ම මිනිස් සංහතිය අලාභයෙහිම පසු වෙති. 3. නමුත් (සත්යය) විශ්වාස කර, දැහැමි ක්රියාවන් ඉටු කර, සත්ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර. අල්-අස්ර් පරිච්ඡේදය 103:(1-3)
අර්ථ විග්රහය:
1. සුවිශුද්ධයාණන් කාලය මත දිවුරා සිටී.
2. නියත වශයෙන්ම මිනිසා යම් අඩුවක හා විනාශයක සිටියි.
3. නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කොට, දැහැමි ක්රියාවන් ඉටු කර, ඔවුන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට සත්යය පිළිබඳ අන්යෝන්යව උපදෙස් දෙමින් ඒ මත ඉවසීමෙන් සිටින මෙන් ද උපදෙස් දෙමින් ජීවත් වන්නන් හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජීවිතයෙහි ජය ලබන්නෝ වෙති.

අල්-හුමසා පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. කේලාම් කියන, දොස් කියා අපහාස කරන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා! 2. ඔහු වනාහි ධනය රැස් කොට එය ගණන් කළ අයෙකි. 3. නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරනු ඇතැ යි ඔහු සිතයි. 4. එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි. 5. හුතමා ව යනු කුමක්දැ යි නුඹලා ව දැනුවත් කළේ කුමක්ද? 6. එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය. 7. එය සිත් මත එබිකම් කරයි. (පසාරු කරයි) 8. සැබැවින්ම එය, උස් කුළුණුවල බඳිනු ලබයි, 9. ගින්න ඔවුන්ව වට කර ගන්නකි. අල්-හුමසා පරිච්ඡේදය 104:1-9
අර්ථ විග්රහය:

1. මිනිසුනට එරෙහිව අධික ලෙස කේලාම් කියමින් දොස් නගමින් ඔවුනට අපහාස කරමින් සිටින්නන් හට විනාශය හා දැඩි දඬුවම අත් වනු ඇත.
2. ඔහුගේ අරමුණ ධනය රැස්කොට එය ගණන් කර තැබීමය. ඒ හැර වෙනත් කිසිදු අරමුණක් ඔහුට නැත.
3. නියත වශයෙන්ම ඔහු රැස් කළ ධනය ඔහුව මරණයෙන් මුදවා, මෙලොව ජීවිතයේදී ඔහුව සදාකාලිකයකු ලෙස ජීවත් කරවනු ඇතැයි ඔහු සිතයි.
4. මෙම අධමයා රූපණය කරන මෙන් කරුණ නොපවතී. දැඩි දඬුවම සඳහා එහි හෙළන සෑම දෙයක්ම කඩා පොඩිකර දමන නිරා ගින්නට සැබැවින්ම ඔහුව හෙළනු ලැබේ.
5. අහෝ දූතය! හෙළන සෑම දෙයක්ම විනාශ කර දමන නිරා ගින්න කුමක් දැයි ඔබට දන්වා සිටියේ කුමක්ද?
6. සැබැවින් එය අල්ලාහ්ගේ අවුළනු ලැබූ ගින්නය.
7. එය මිනිසුන්ගේ ශරීර තුළින් රිංගා ඔවුන්ගේ හදවත් දක්වා ප්රසාර වී යනු ඇත.
8. සැබැවින්ම එය දඬුවමට ලක්වූවන් ආවරණය කර ගනු ඇත.
9).ඉන් පිටවිය නොහැකි තරමට උසට තනන ලද කුළුණු තුළ එය පවතියි.

පිළිතුර- අල්-ෆීල් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද? 2. ඔවුන්ගේ කුමන්ත්රණය ඔහු නිෂ්ළුල නොකළේද? 3. තවද ඔහු(අල්ලාහ්) ඔවුන් වෙත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය. 4. උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ කුඩා ගල් හෙළුවේය. 5. එවිට ඔහු ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් (වූ තත්ත්වයට) පත් කළේය. අල්-ෆීල් පරිච්ඡේදය (1-5)
අර්ථ විග්රහය:
1. අහෝ දූතය! අබ්රහා හා ඔහුගේ ඇතුන් සමඟ පැමිණි සේනාව කඃබාව කඩා දමන්නට සිතූ අවස්ථාවේදී ඔබේ පරමාධිපති කටයුතු කළ ආකාරය කෙසේදැයි ඔබ නොදුටුවෙහිද?
2. එය කඩා බිඳ දැමීමේ ඔවුන්ගේ ඒ නපුරු කුමන්ත්රණය අල්ලාහ් නිෂ්ඵල කර දැමීය. කඃබා දේවස්ථානයෙන් ජනයා ඉවත් කිරීමට සිතූ ඔවුන්ගේ වෑයම අසාර්ථක විය. ඉන් කිසිදු ඵලක් ලබන්නට ඔවුනට නොහැකි විය.
3. කුරුල්ලන් වර්ගයක් ඔවුන් වෙත අල්ලාහ් එවීය. උන් රංචු පිටින් ඔවුන් වෙත ආවේය.
4. රත් කරන ලද මැටියෙන් යුත් ගල් උන් ඔවුන් මත හෙළුවේය.
5. සතුන් විසින් කා දමන ලද, උන් විසින් පාගා දමන ලද පැළැටිවල කොළ මෙන් අල්ලාහ් ඔවුන්ව පත් කළේය.

පිළිතුරු: සූරත් කුරෙයිෂ් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. කුරෙයිෂ්වරුන් වෙත (හුරුපුරුදු ලෙස යාම් ඒම් සඳහා) ඇල්ම ඇති කරලීම වෙනුවෙන් 2. (එනම්) ශීත හා ග්රීෂ්ම ඍතුවන් හි (ව්යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්ට ඇල්ම ඇති කරලීම වෙනුවෙන්. 3. එබැවින්, මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා! 4. කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය. සූරා කුරෙයිෂ් :1-4
අර්ථ විග්රහය:

1. කුරෙෂ්වරුන් ඔවුන්ගේ ඇල්ම හේතුවෙන් ශීත ඍතුවේ සහ ගිම්හානයේ සංචාරයේ යෙදීමට හුරුපුරුදු වූ බව එයින් අදහස් කරනු ලැබේ.
2. ශීත ඍතුවෙහි සුරක්ෂිතව යමන් දේශයට හා ග්රීස්ම ඍතුවෙහි සුරක්ෂිතව සිරියා දේශයට යෑමේ පුරුද්ද හා ඇල්ම ඇති කළ හේතුවෙන්.
3. මෙම ශුද්ධවූ නිවසේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ට ඔවුන් නැමදුම් කරත්වා! ඔවුනට මෙම ගමන පහසු කළේ ඔහුය. එබැවින් කිසිවකු හා කිසිවකට ඔවුන් ආදේශ නොකළ යුතුය.
4. ඔහු, අරාබිවරුන් අතර කඃබාව ශුද්ධත්වයට පත් කොට, එය ගරුකටයුතු ස්ථානයක් බවට පත් කොට ඔවුනට ආරක්ෂාවද ඔවුන්ගේ කුසගින්නට ආහාරයද සැපයීය.

පිළිතුර- අල්-මාඌන් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද? 2. එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි. 3. තවද දුප්පතාගේ ආහාරය (ඔහුට ලබා)දීම පිළිබඳ ව දිරි නොගන්වයි. 4. එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා! 5. ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූහ. 6. අන් අයට පෙන්වා (පුරසාරම් දොඩ) වන්නෝ වූහ. 7. නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූහ. අල්-මාඌන්:1-7
අර්ථ විග්රහය:

(1) විනිශ්චය දිනයේ වේදනාව බොරු යැයි පවසන්නන් නුඹ හඳුනන්නෙහිද?
(2) ඔහු අනාථයා දැඩි අවශ්යතාවයකින් පෙළෙන විට ඔහුට උපකාර කිරීමෙන් වළක්වාලයි.
(3) දිළිඳුන් හට ආහාර සැපයීමට තමන් උනන්දු නොවන අතරම ඒ සඳහා අන් අයව දිරි නොගන්වයි.
(4) නොසැලකිලිමත්ව මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන් විනාශ වේවා! දඬුවමට ලක් වේවා!
(5) ඔවුහු ඔවුන්ගේ සලාතය ඉටු කිරීම ගැන සැලිකිලිමත් නොවූහ. එහි වේලාව අතපසු වී යන තෙක්ම ඒ ගැන ඔවුන් තැකුවේ නැත.
(6) ඔවුහු ඔවුන්ගේ නැමදුම් හා ඔවුන්ගේ ක්රියාවන් සෙසු ජනයාට පෙන්වති. එය අල්ලාහ් වෙනුවෙන් අවංකව සිදු නොකරති.
(7) උදව් කිරීමෙන් හානියක් ඇති නොවන සුළු දෑ පවා අන් අයට දීමෙන් ඔවුන් වැළකෙති.

පිළිතුර- අල්-කවිසර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. නියත වශයෙන්ම අපි නුඹට අසීමිත වූ සම්පත් පිරිනැමුවෙමු. 2. එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සතෙකුගේ ගෙල කපා කැප කරනු. 3. නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා. අල්-කව්සර් පරිච්ඡේදය:1-3
අර්ථ විග්රහය:

1-අහෝ දූතය! අපි ඔබට අධික යහපත පිරිනැමුවෙමු. ස්වර්ගයේ ඇති කව්සර් නම් තටාකයද ඒවායින් එකකි.
2- මෙම ආශිර්වාදය වෙනුවෙන් ඔබ අල්ලාහ්ට නැමදුම් කරමින් ඔහු වෙනුවෙන් සතුන් කැප කරමින් ඔහුට කෘතවේදී වන්න.
3- ඔබට එරෙහිව දොස් පවරමින් සිටි අය සියලුම යහපත් දැයින් කපා හරින ලදී. ඔහු ගැන සිහිපත් කරනු ලබන විට, ඔහුගේ නපුරුකම ඈදාගෙන ඔහු සිහිපත් කරන ලදී.

පිළිතුර- අල්-කාෆිරූන් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. (නබි මුහම්මද්) පවසනු. අහෝ දේව ප්රතික්ෂේපකයිනි! 2. නුඹලා නමඳින දෑ මම නොනමඳිමි 3. තවද නුඹලා ද මා නමඳින දෑ නමඳින්නන් නොවන්නාහුය. 4. තවද නුඹලා නැමඳූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි. 5. තවද නුඹලා ද මා නමඳින දෑ නමඳින්නන් නොවන්නාහුය. 6. නුඹලාට නුඹලාගේ ආගම. මට මාගේ ආගම. අල්-කාෆිරූන් පරිච්ඡේදය1-6
අර්ථ විග්රහය:

(1) අහෝ දූතය, අල්ලාහ් පිළිබඳ ප්රතික්ෂේප කරන්නන් අමතා “අහෝ ප්රතික්ෂේප කරන්නනි“ යැයි පවසනු.
(2) දැන් හෝ මින් ඉදිරියට හෝ නුඹලා වැදුම් පිදුම් කරන පිළිමවලට මම කිසිසේත් නැමදුම් නොකරමි.
(3) මම කවර කෙනකුව නැමදුම් කර සිටින්නෙම් ද, ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය.
(4) නුඹලා නමදිමින් සිටි දෑ නැමදුම් කරන්නෙකු ලෙස මම ද නැත.
(5) මම කවර කෙනකුව නැමදුම් කර සිටින්නෙම් ද ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය.
(6) නුඹලා වෙනුවෙන් කවර ආගමක් නුඹලා විසින් ආරම්භ කර ඇත්තේද, එය නුඹලා සතුය. අල්ලාහ් මා වෙත පහළ කළ මාගේ ආගම මා සතුය.

අන්-නස්ර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1-අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්රහණය පැමිණි විට. 2-තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට. 3-නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය අන්-නස්ර් පරිච්ඡේදය:1-3
අර්ථ විග්රහය:

(1) අහෝ දූතය! ඔබේ ආගමට අල්ලාහ්ගේ උපකාරය පැමිණි විට, එය ගෞරවයට පත් වන විට, තවද මක්කාහ් ජයග්රහණය සිදු වන විට,
(2) කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ජනයා ඉස්ලාමය තුළට පිවිසෙනු නුඹ දකින්නෙහිය.
(3) ඔබ කවර වැදගත් කරුණකට එවනු ලැබුවේද එම කටයුත්ත අවසන් වී ඇති බවට මෙය සළකුණක් බව දැන ගන්න. එබැවින් උපකාරය හා ජයග්රහණය ආශිර්වාද කළ ඔබගේ ප්රමාධිපතිට කෘතඥවනු පිණිස ඔහුගේ ප්රශංසාවෙන් ඔබ ඔහුව පිවිතුරු කරනු. ඔහුගෙන් සමාව අයැද සිටිනු. ඔහු තම ගැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙන්නාය.

පිළිතුර- අල්-මසද් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා ! ඔහු ද විනාශ වේවා ! 2. ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත. 3. මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් ගින්නට පිවිස දැවෙනු ඇත. 4. තවද දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද. 5. ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් යුත් කඹයකි. අල්-මසද් පරිච්ඡේදය:1-5
අර්ථ විග්රහය:

1. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මහප්පා කෙනකු වූ, අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබූ ලහබ්, නබි තුමාණන්ට හිංසා හා වේදනා ගෙන දෙමින් කටයුතු කළ ආකාරය හේතුවෙන් ඔහුගේ දෑත් විනාශයට පත් විය. ඔහු හරිහම්බ කළ දෑද විනාශ වී ගියේය.
2. ඔහුගේ ධනය හෝ ඔහුගේ දරුවන් අතරින් කවර කරුණක් හෝ ඔහුව මුදවා ගන්නට ඔහුට ප්රයෝජනවත් වූයේද? ඔහුව දඬුවමින් මුදවාලන්නට ඒවා ඉදිරිපත් වූයේ නැත. එමෙන්ම ඔහුට ඒ දෙක ආශිර්වාදය ගෙන දුන්නේද නැත.
3. අග්නි ජාලාවෙන් යුත් ගින්නට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහු පිවිසෙනු ඇත. එහි උෂ්ණයෙන් ඔහු තැවෙනු ඇත.
4. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් යන එන මඟ කටු අතු දමමින් එතුමාණන්ව හිංසාවට ලක් කළ ඔහුගේ බිරිය වූ උම්මු ජමීල්ද නිරයට පිවිසෙනු ඇත.
5. නිරයට ඇදගෙන යන ඉඳි කෙඳිවලින් අඹරා සාදන ලද කඹයක් ඇයගේ ගෙලෙහි තිබෙනු ඇත.

පිළිතුර- අල්-ඉහ්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රාහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. (නබි මුහම්මද්!) පවසනු. ඔහු, එනම් අල්ලාහ් ඒකීයය. 2. අල්ලාහ් ස්වාධීනය. 3. ඔහු ජනිත නොකළේය. තවද ඔහු ජනිත කරනු නොලැබුවේය. 4. තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. අල්-ඉක්ලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය:1-4
අර්ථ විග්රහය:

1. (අහෝ දූතය!) නුඹ මෙසේ පවසනු: අල්ලාහ් වන ඔහු දේවත්වයෙන් තනි වූ කෙනෙකි. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත.
2. පූර්ණ හා අලංකාර ගුණාංග තුළ උපරිමයෙන්ම කීර්තියට පත් ප්රධානියා ඔහුය. සියලු මැවීම් ඔහුගෙන් යැපෙනු ඇත.
3. ඔහු කිසිවකු ජනිත කළේ නැත. එසේම කිසිවෙක් විසින් ඔහුව ජනිත කරනු ලැබුවේද නැත. පිවිතුරු ඔහුට කිසිදු දරුවකු හෝ පියකු හෝ නැත.
4. ඔහුගේ මැවීම් තුළ ඔහුට සමාන කිසිදු උපමාවක් නැත.

පිළිතුර- අල්-ෆලක් (අරුණෝදය) සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. (නබිවරය!) අරුණෝදයේ පරමාධිපතිගෙන් මම ආරක්ෂාව පතමි යැයි පවසනු.” 2. “ඔහු මැවූ දෑහි හානියෙන්.” 3. තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද. 4. තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද. (5) තවද, ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන්ද (ආරක්ෂාව පතමි). (සූරතුල් අල්-ෆලක් :1-5)
අර්ථ විග්රහය:
1. අහෝ දූතය! ඔබ පවසන්න මම හිමිදිරියේ පරමාධිපතියාණන්ගෙන් ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.
2. වේදනා ගෙන දෙන මැවීම්වල හානියෙන් ද.
3. සොරුුුන්, සතුරන් හා සතුන්ගෙන් රාත්රියේදී සිදුවිය හැකි හානියෙන් ද මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.
4. ගැට මත පිඹ හූනියම් කරන හූනියම් කරුවන් හා සූනියම් කාරියන්ගේ නපුරෙන්ද මම ඔහුගෙන් ආරක්ෂාව පතමි.
5. සිදු කරන යම් ක්රියාවක් තුළින් ඊර්ෂ්යාවක් ඇති වන්නේද එසේ ඊර්ෂ්යා කරන්නාගේ හානියෙන්ද මම ආරක්ෂාව පතමි.

අන්-නාස් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. (නබි මුහම්මද්!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. 2. (ඔහු) මිනිසුන්ගේ රජුය. 3. මිනිසුන්ගේ දෙවියාය. 4. (නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි). 5. ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. 6. (ඇසෙන් නොපෙනෙන ජීවී විශේෂයක් වූ) ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද වෙති. අන්-නාස් පරිච්ඡේදය:1-6.
අර්ථ විග්රහය:

1. අහෝ දූතය, ඔබ පවසන්න මම හිමිදිරියේදී පරමාධිපතියාණන්ගෙන් ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.
2. ඔහු මිනිසුන්ගේ රජුය. ඔහු කැමති දේ ඔවුන් අතර ක්රියාත්මක කරවයි. ඔහු හැර වෙනත් කිසිදු හිමිකරුවකු ඔවුනට නොමැත.
3. ඔවුන් විසින් සැබෑ ලෙස නැමදුමට ලක් විය යුත්තාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු වෙනත් කිසිවකු ඔවුනට නොමැත.
4. මිනිසා තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි.
5. ඔහු මිනිසාගේ හදවත් වලට කුකුස් හෙළයි.
6. ඔවුන් ජින්නුන් අතර මෙන්ම මිනිසුන් අතරද වෙති.